ශබ්ද පූජාවේ අනුසස්....🙏

 ශබ්ද පූජාවේ අනුසස්...🙏


බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය.


අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුසසුනෙහි පැවිදිව රහත් වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වේ.


“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,

තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.


වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,

සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.


සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,

තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.


තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,

ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”

(එකාසනියත්ථෙර අපදානයෙන්)


විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.


බුද්‍ධුපට්ඨාන ථෙරාපදානය

56

’’(මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂීවූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනේ වීමි.

57

’’තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය බලව්. හැමකල්හි සැට දහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරත්.

58

’’මින් එක් අනූවන කපෙහි මහර්ෂීවූ බුදුරජුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනක් කිරීමෙහි මේ විපාකයයි.

59

’’මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මහා නිග්ඝෝෂ නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

60

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධුපට්ඨාන තෙරුන් වහන්සේ මෙම ගාථාවලින් වදාළ සේක."


තෙරුවන් සරණයි !

Comments

Popular posts from this blog

නර්ථන කලාවේ ⁣ඉතිහාසය යුග පිලිවෙලට

කොහොඹා කංකාරියේ සැඟවුනු තොරතුරු

දිග්ගෙයි නර්ථනය